බැඳපු අය එක කාන්තාවකට හෝ පිරිමියෙකුට වඩා ඇසුරු කරන්න ගියොත් සිද්ධ වෙන්න පුළුවන් ගැටළු 4ක්

විවාහ වුණා කියලා ආදරයේ කෙළවරක් ඇති වෙන්නේ නැහැ. හුඟක් දෙනෙක්ට විවාහ ජිවිතයේ ලැබෙන ආදරය ටික දවසකින් උදාසීන වෙනවා. ඇති කියලා හිතෙන්න ගන්නවා. ඉන්පස්සේ කාලයත් එක්ක වෙනත් ආදර කතාවල පැටලෙනවා. මුල් කාලයේදී වට්ස් ඇප් , මැසෙන්ජර් වලින් ආදරය පටන් ගන්නවා. ඒත් කල් යද්දී හම්බවෙලා කතා කරන මට්ටමට ආවම තමයි ප්‍රශ්න ගොඩක් වෙන්නේ.

1.ගැටළු ඇතිවෙන්න හේතු ගොඩයි

අනියම් සම්බන්ධතා ඇති වෙන්නේ හා ඇති කරගන්නේ ගැටළු සහිත විවාහකයින් අතරයි. ආර්ථික හෝ සමාජ තත්වය ගැන සලකා තමා අතින් වරදක් වීම හෝ වරදක් කර ඊට වන්දි ගෙවීමක් ලෙස විවාහයට යොමුවීම, අලුත් විවාහ ජීවිතයට අනුගත වීමට, ඒ අනුව අවශ්‍ය වෙනස් වීම්, වෙනස්කම් සඳහා නොහැකියාව, විවාහයට පෙර සිටි පුරුදු ජීවිතයේ ඇතැම් හානිකර පුරුදුවලින් ඈත් වීමට, ඒවා අත්හැර දමා අලුත් ලෙස සිතන්නට බැරි වීම, ජීවිතයේ වෙනස් වීමට ඇති අකමැත්ත, මවුපියන් බවට පත්වූ පසු පෙරදා සිටි පෙම්වතුන්, අඹුසැමියන් ලෙස වූ සම්බන්ධතා අත්හැරීම හෝ අඩුවීම, වයසත් කාලයත් සමග කායික වෙනස්කම්, මානසික වෙනස්කම් , පුද්ගල මුලික වටිනාකම් සඳහා එකඟතා නැතිවීම,  දෙදෙනාටම පොදු වූ රුචිකත්වය නැතිවීම, ආර්ථික අමාරුකම් ආදී බොහෝ කාරණා දෙදෙනා අතර බැඳීම් ලිහිල් කිරීමටත් දික්කසාදය සඳහා පෙළඹවීමක් සිදුවීමට බලපානවා.

2.විවාහයේ ඇති වටිනාකම ඔබ තේරුම්ගත යුතුයි

විවාහය නීතිමය හා සමාජීය වශයෙන් වූ වැදගත් සම්බන්ධතාවකි. එමඟින් ධනාත්මක මෙන්ම ඍණාත්මක වූ බලපෑම් මානසික යහපැවැත්ම කෙරෙහි ඇති කිරීමට පුළුවන්. සාමාන්‍යයෙන් එක් කාන්තාවක් එක් පුරුෂයෙකු සමඟ කායික වශයෙන් එක්වෙනවා. එය සමාජීය සහ සංස්කෘතික වශයෙන් ද පිළිගැනීමට ලක්වෙනවා. විවාහය තුල එලෙස එක්වීමේ ක්‍රියාවලිය හා ඒ තුළ එකිනෙකා කෙරෙහි ආදරය, ගෞරවය,කැපවීම, බෙදාහදා ගැනීම තිබීම අවශ්‍යයි.

3.සතුටින් ඉන්න

විවාහ ජීවිතය කල් ඉකුත්වූ තත්වයකට පත්කරගත යුතු නැහැ. කායික මානසික වශයෙන් එය කාලයත් සමඟ වයසට ගියද ඒ සමඟම අලුත් බවක් ද ඇති වන බව දැකීමට පුළුවන් වෙන්න ඕන. ස්ත්‍රීන් හෝ පුරුෂයන් විවාහයට පත්වෙන්නේ විවාහ ජීවිතය උපරිම සතුටින්, තෘප්තියෙන් ගෙවන්නට සිහින දකිමින්. සිහිනය එක් පාර්ශවයකගේ පමණක් වූ විට එය සැබෑවක් කරගන්න නොහැකි වෙනවා. ඒ අපේක්ෂිත විවාහය තනිකඩ ජීවිතයට වඩා මිහිරි, රසවත් වින්දනීය එකක් වනු ඇතැයි විවාහ අපේක්ෂකයෝ කල්පනා කරනවා. මටත් හැමදාටම කෙනෙක් ඉන්නවා යන විශ්වාසය හැම විවාහකයෙක් තුළම තියෙන්නට ඕන. ගැටලුවක් ඇති වුවහොත් ඔබ දෙදෙනා කතා කර විසඳගන්න. ආදරයෙන් ඉන්න. ජීවිතේ විඳින්න.

4.දුක් විදින්නේ ඔබමයි

මිනිසුන්ගේ බැඳීම් හිත් ඇතුලේ පැටලුනාම සමහර වෙලාවට ඒක කරදරයක්. මොකද සම්බන්ධයන් ගොඩක් ඇතිවෙනකොට ජීවිතේ සංකීර්ණ වෙනවා. ඉතින් එකම දේ සම්බන්ධයෙන් ගොඩක් දේවල් ලංවෙනකොට ජීවිතය සංකීර්ණ වෙනවා. හරියට අවබෝධ කරගත්තේ නැත්නම් ජීවිත ගොඩකට ගැටළු ඇතිවෙනවා. මෙම ගැටලුව නිසා පවුල් සංස්ථාව බිඳවැටීම, ආර්ථිකය පහත වැටීම, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම, නින්දා අපහාස විදින්නට සිදුවීම, සමාජ රෝග බෝවීම, සියදිවි හනිකරගැනීම පමණක් නොව මිනීමැරුම් පවා සිදුවන ආකාරය දැකගන්න පුළුවන්. ඒ තරමටම අද සමාජය තුළ මෙවැනි අනියම් සම්බන්ධතා නිසා ඇතිවන ප්‍රශ්න කෙළවරක් නැහැ.