මම ඉස්සර බොහෝ වෙලාවට කරන දේ පස්සට දානවා.පස්සට දාපු එක ගැන මම පසුතැවිලි වෙනවා-ශෙහානි කහඳවල

පුංචි තිරය තුළ කාලයක් මතුවෙලා ආයෙ කාලෙකට දකින්නවත් නැති වෙන නැගී එන රංගන ශිල්පිනියක් තමයි ශෙහානි කහඳවල කියලා කියන්නේ. බොහෝ දෙනෙක්  ඇයව හඳුනන්නේ  ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ සිහිනි ටෙලි නාට්‍යයේ ‘ සිහිනි’ කියන චරිතය නිසයි.ඇය මුලින්ම කලාවට පිවිසෙන්නේ 2013 වර්ෂයේ. ඉන්පසු දෙරණ නාලිකාවේ නිවේදන කටයුතු වසරක පමණ කාලයක් සිදුකරන අතර 2015 දී දෙරණ නාලිකාවේ විකාශය වූ චාමර ජනරාජ් පීරිස්ගේ  ‘ ඇසිඩ්’  නාට්‍යයට සම්බන්ධ වෙන්න ඇයට ආරාධනා ලැබෙනවා.ඊට ටික කාලෙකට පසුව සිරස නාලිකාවේ විකාශය වූ සුජාතා ටෙලි නිර්මාණයට ද ඇය රංගනයෙන් දායකත්වය ලබා දෙනවා. නිරන්තරයෙන්ම රංගනය හදාරන මේ අපූරු රංගන ශිල්පිනිය  වෘත්තියෙන් රංගන ශිල්පිනියක් ලෙස සඳහන් කරනවා.ඉතින් ශෙහානි පසුගිය දිනයක මාධ්‍ය සාකච්ඡාවකට සම් බන් ධ වෙමින් ඇයගේ තොරතුරු කියා සිටියේ මේ ආකාරයෙන්.එහිදී ඇය ක්‍ෂේත්‍රයේ ආපූ ගමන් මඟ හා ඒවෙනුවෙන් කල කැපකිරීම් ගැන මෙසේ කියා තිබුනා.

අද වෙද්දී මම ගතකරන ජීවිතේ එක්ක බලද්දී මම කරපු කැපකිරීම ගැන තියෙන්නේ ලොකු සතුටක්. මම වැඩක් බාරගත්තට පස්සෙ මට ඒකෙදි සියයට දාහකින්ම මගේ උපරිමයෙන්ම ඒ වෙනුවෙන් මහන්සි වෙනවා කාලය  කැපකරනවා. කලාවෙදි වුණත් මම එකපිට වැඩ දෙක තුන කලවම් කරගන්නේ නැහැ. මම නිවැරදිව, වෙලාව සකස් කරගෙන වැඩ කරනවා. ඇතැම් අවස්ථාවලදී බාරගත්තු දේටම කැපකිරීම් කරපු නිසා පසුව ලැබුණ හොඳ වැඩ මඟහැරුණු අවස්ථා තිබුණා.මම ඉස්සර බොහෝ වෙලාවට දැන් කරන්න ඕන දේ දැන් නොකර පස්සට දානවා. කාලයක් ගියාට පස්සේ අපරාදේ ඒ කාලේදීම ඒක කළා නම් කොච්චර හොඳද? කියලා අනන්තවත් පසුතැවිලි වෙලා තියෙනවා. මීට අවුරුදු තුන හතරකට පෙර කරන්න හිටපු දෙයක් දැන් කරන්න පටන් අරගෙන තියෙනවා. අපි ඒ ගැන තව ටික දවසකින් කියමු. ඒක ඉස්සරහට බලාගන්න පුළුවන් වේවි.

මගේ ජීවිතේට ආපු හැමදේම අභියෝග වුණා. පළමු වතාවට සිදුවන, මුහුණදෙන හැමදේම අපිට අභියෝගයි. අපි ඒකට මුහුණ දීලයි ඒකේ රස, තිත්ත තීරණය කරන්න වෙන්නේ. පුංචි කාලේදීම මම එහෙම අභියෝග බාරගන්න චුට්ටක් බයයි. මිනිස්සු මට හිනාවෙයි. මට ලැජ්ජා වෙයි. මගේ අම්මා බනීද, මගේ නෑදෑයෝ, වටපිටාවේ අය මගේ අම්මාට මොනවා කියාවිද කියලා ලොකු බයක් මට තිබුණා. මාව මටම හිරකරගෙන හරි පැකිලීමකින් හිටියේ. නමුත් දැන් එහෙම නැහැ. අපි ජීවත් වෙන්න ඕනේ අපිට ඕන විදිහටයි. තමන්ට කැමති ඕනෑම දෙයක් කරන්න නිදහස වාගේම අයිතිය තියෙනවා. ඒ නිසා පහුකාලීනව මට ලැබුණ හැම අභියෝගයකටම මම බය නැතිව මුහුණ දුන්නා. ඒ අභියෝග ජයගත්තා.

ඒ වගේම ඇයගේ ප්‍රථ්ම ප්‍රේමය ගැන වගේම ඒ වනවිට ඇය පෙම්වතියක්ද යන්න පිළිබදව ඇය කියා සිටියේ මේ ආකාරයෙන් , මගේ ප්‍රථම ප්‍රේමය පාසැල් ප්‍රේමයක්. ඒක සුන්දරයි. අපි ඒ කාලේ දකින ලෝකය වුණේ පාසැලයි, මගේ ගෙදරයි, ඒ යන පාරයි විතරයිනේ. එතැනින් එහාට ඒ කාලේ ලෝකයක් දැකලා තිබුණේ නැහැ.

මේ වෙනකොට නම් මම පෙම්වතියක් නෙවේ. බොහෝ කාලයකට උඩදී පෙම්වතියක් වෙලා හිටියා. නමුත් දැන් නැහැ. මට දැන් පෙම්වතියක් වෙනවාට වඩා මගේ තිබෙන ඉලක්කවලට යන්නයි ඕනේ. මගේ අම්මාගේ හිත සතුටු කළාට පස්සේ මට ඒ හැමදෙයක් ගැනම හිතන්න පුළුවන්. මට අවුරුදු දොලහේදී ඉඳන් තනියම මාව තනියම හදපු මගේ අම්මට තෑග්ගක් විදිහට මට පුළුවන් උපරිම දුරක් මම අම්මාව එක්කගෙන යනවා. ඒක තමයි මගේ ලොකුම ඉලක්කය වෙන්නෙත්.කියලයි ඇය අවසාන වශයෙන් කියා සිටියේ