කුඩා කාලයේ සිටම මම කැමති කන්න බොන්න නැතත් කමක් නෑ මම ආස ලස්සනට ඉන්න.-හෙක්ටර් ඩයස්

හෙක්ටර් ඩයස් කියන්නේ අපේ රටේ තරුණියන් වසඟයට ගත් දක්ෂ ගායකයෙක්. මේ දිනවල් හිරු ටීවී නාලිකාවේ විකාශනය වන දිවිතුරා ටෙලි නාට්‍යයේ අගස්ති ලෙසින් ප්‍රේක්ෂක ආදරය දිනාගෙන තිබෙනවා. ඉතින් ඔහුට ලැබෙන ප්‍රේක්ෂක ආදරය ගැන ඔහු මේ විදිහට පැවසුවා.“මේ ටෙලිනාට්‍ය නිෂ්පාදන කණ්ඩායම මුලින්ම චරිතය පිළිබඳ මට හඳුන්වාදීමක් කළා. මගේ සැබෑ චරිතයට සමාන නොවුණත් මෙහි ගායනය පැත්තෙන් යමක් කිරීමට ඇති නිසා චරිතය නිරූපණය කිරීම තරමක් පහසුයි. අගස්තිට හැමදේම නොරුස්සන චරිතයක් තියෙන්නේ. නමුත් ඇත්තටම මට හොඳ ඉවසීමක් තියෙනවා. ඕනෑම දෙයක් දෙස සාධාරණව බලන නිවුන චරිතයක් මම. මගේ සැබෑ චරිතයට විරුද්ධව යන අගස්තිගේ චරිතය නිරූපණය එක පාරටම අපහසු වුණත් ඒ අභියෝගය මම භාරගත්තා. මම වෘත්තීය රංගන ශිල්පියෙකු නොවේ. මේ මගේ ප්‍රථම අද්දැකීම.

මේ නිර්මාණය හඳුන්වාදීමේදී කියැවුණේ මෙය තවත් ටෙලිනාට්‍යයක් නොවේ යන්න. මටත් එය හැඟෙනවා. ඉතාම උසස් මට්ටමක නිර්මාණයක්. එවැනි නිර්මාණයකට දායක වීමම මට ලොකු අත්දැකීමක්. ඒ වගේම මට හෙලිකොප්ටර් එකේ යන අවස්ථා එය රූ ගත කිරීම වෙනස්ම අත්දැකීමක් වුණා. මොකද හෙලිකොප්ටර් එක ඇතුළෙත් කැමරාකරුවෙක් ඉන්නවා. ඒ වගේම මගේ සාමාන්‍ය ජීවිතයට එහා ගිය මේ චරිතය තුළ නිතරම කේන්තියෙන් ඉන්න ඕන. එයද මට ලොකු අත්දැකීමක් වුණා. මම ඇත්ත ජීවිතයේ හාත්පස වෙනස් චරිතයක් නිසා.

ඒ වගේම තරුණියන් වසඟයට ගත ඔහුගේ විලාසිතා ගැනත් මේ විදිහට පැවසුවා.“කුඩා කාලයේ සිටම මම හරිම කැමතියි ලස්සනට අඳින්න. කන්න බොන්න නැති වුණත් මම ආසයි ලස්සනට පිළිවෙළට ඉන්න. ඉතින් ඒ මා පුරුදු වූ පැවැත්මයි මේ ආකාරයට රැගෙන එන්නේ. දැන් මම ජීවිතයේ හතරවෙනි දශකය පසු කරමින් ඉන්නේ. නමුත් මම තාමත් මගේ ශරීරය හා විලාසිතාවන් ගැන සැලකිලිමත්. අපි කන්න බොන්න විනෝද වෙන්න ඕන. ඒ හැමදේම වගේ අපි අපි ගැනත් හිතන්න ඕන. බැඳලා දරුවො ලැබුණම අපේ ජීවිතය ඉවරයි කියලා හිතලා අතෑරලා ඉන්නවා. නමුත් මම කියන්නේ තමන්ට තමන් මුලින් ආදරේ කරන්න ඕන. එහෙම වුණොත් අනිත් අයත් තමන්ට ආදරේ වෙනවා. ආකර්ෂණය වෙනවා. මටත් දරුවො තුන් දෙනෙක් ඉන්නවා.

මාව දැකලා කවුරුහරි අභිප්‍රේරණය වෙනවනම් ඒක මට ලොකු සතුටක්.”ඉතින් ඒ වගේම ආදරණිය බිරිඳ ගැනත් මේ විදිහට මතක් කළා. “බිරිඳගෙන් ලැබෙන සහයෝගය අපමණයි. ඒ වගේම මගේ දරුවෝ මගේ නැන්දම්මා මට මගේ අම්මා වගේ ඇයයි මගෙ දරුවො බලාගන්නේ. දරුවො ප්‍රංශයේ ඉද්දි බිරිඳ ලංකාවට ආවා මට උදව් කරන්න. මගේ ඇඳුමේ ඉඳලම ඇයයි හැමදේම සූදානම් කරන්නේ. මගෙ සියලු කටයුතුවලට අතහිත දෙන්නේ බිරිඳ තමයි.”