මජං ගාගෙන අම්බලන්තොට ඩිපෝවේ කැඩිච්ච බස් හදන වයස අවුරුදු 20 සුරූපි පුංචි කෙල්ල

හුංගම විජයබා ජාතික පාසලේ ක්‍රීඩා ගුරුවරයකු වන සභාපති රංහොටි ගමගේ රංජිත් හා ආර්ථික සංවර්ධන නිලධාරිනියක වන අමිලා සුරන්ජිට දාව 2002 අගෝස්තු 24 වැනිදා සභාපති රංහොටි ගමගේ සංජනා මෙලොව එළිය දුටුවාය. පවුලේ වැඩිමහල් දරුවා වූ ඇයට බාල සොහොයුරෙකු වූවාය. කුඩා කල පටන්ම සෑමදෙයක් කෙරෙහිම ඈ විමසිලිමත් වූවාය. කොල්ලන්ට කෙල්ලන්ට කියා වෙන් කළ සීමා ඇගේ ජීවිතයේ නොවූවාය. ඊට මවුපියන් කෙරෙන්ද බාධාවක් නොවීය. පාසල් වයසට එළඹෙත්ම හ/ථෙරපුත්ත ජාතික පාසලට ඇතුළත් වන සංජනා උසස් පෙළ දක්වා එහි අධ්‍යාපනයෙහි නිරත වූවාය. 

2018 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සංජනා ඉහළ සාමාර්ථයන් ලබමින් ඉන් විශිෂ්ට ලෙස සමත් වූවාය. අනතරුව 2021 වසර සඳහා උසස් පෙළ ගණිත අංශයට යොමු වන ඇය කොවිඩ් ව්‍යසනයත් සමඟ රට තුළ උද්ගත වූ අර්බුදකාරී වාතාවරණය නිසා ඉන් උසස් ප්‍රතිඵලයක් ගැනීමට නොහැකි වේයැයි සිතුවාය. ඊට හේතුව වූයේ පාසල් පමණක් නොව උපකාර පන්තිද නවතා දැමීම නිසා විෂයන් නිසි පරිදි ආවරණය කරගැනීමට නොහැකි වීමය. එනිසා විභාගයට මාස හයක් තිබියදී ඇය විෂය ක්ෂේත්‍රය මාරු කිරීමට තීරණය කළාය. ඒ අනුව ඉංජිනේරු තාක්ෂණවේදය, තාක්ෂණවේදය සහ විද්‍යාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය හැදෑරීමට යොමු වූවාය. ඉන් හොඳින් සමත් වූ සංජනා දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීම අනුව 85 වැන්නා වූවාය. ඒ අනුව මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළුත් වීමට ඈ වරම් ලැබුවාය.

“මාස හයක් වගේ කෙටි කාලයක් තුළ මං උපරිමයෙන් මහන්සි වුණා. ඉංජිනේරු තාක්ෂණවේදය, තාක්ෂණවේදය සහ විද්‍යාව වගේ විෂය හදාරද්දි මෝටර් රථ ඉංජිනේරු විද්‍යාව ගැන මට ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා. ඉලෙක්ට්‍රිකල් පැත්ත වගේම මෝටර් රථ ඒවා නිෂ්පාදනය පිළිබඳව ගොඩක් දැනුම්වත් වුණා. ඒකත් එක්ක මේ විෂය ගැන න්‍යායාත්මකව වගේම ප්‍රායෝගිකවත් හදාරන්න මට ලොකු ආශාවක් ඇති වුණා. මම පුංචි කාලේ ඉඳලම හැමදේම ඉගෙන ගන්න ඕන කියන මතයේ මම දැඩිව සිටියා. මගේ වයසේ අනෙක් ළමයි වෙළෙඳ සැල්වලින් ඇඳුම් අරන් අඳිද්දී; මගේ ඇඳුම් මම මහල අඳින්න පටන් ගත්තා. එතකොට මට වයස අවුරුදු 15ක් විතර ඇති. ඒ වගේම හොඳින් උයන්න පිහන්නත් මට පුළුවන්.”

කුඩා කල පටන්ම නිවස තුළ ගැහැනු දරුවකු ලෙස වෙනස් ලෙස සැලකීමට මවුපියන් කටයුතු නොකළ නිසා ඇය තුළ විශාල පෞරුෂයක් හා ආත්ම විශ්වාසයක් ගොඩනැඟී තිබුණාය. ඒ පිළිබඳව ඇය පවසන්නේ මෙවන් අදහසකි.

“මට තාත්තා අම්මා නිතරම කිව්වේ හැමදෙයක්ම ඉගෙන ගන්න පුතේ. පිරිමින්ට කරන්න පුළුවන් හැම දෙයක්ම ගැහැනියකටත් කරන්න පුළුවන්. මං ඔටෝ මොබයිල් ඉංජිනියරින් (මෝටර් රථ ඉංජිනේරු විද්‍යාව) කරන්න ගියාම වුණත් පිරිමි ළමයින්ට කලින් අඬුව ගන්න පුරුදු වෙන්න කියල තාත්තා කිව්වා. මට ගොඩාක් දේවල් කරන්න පෙලඹවීම ඇති කළේ මගේ තාත්තා. එයා කාර් එක හදන වෙලාවට මට කතා කරනවා. ඒ කරල එයාගේ වැඩවලට මාව හවුල් කර ගන්නවා. මං එයා ඉල්ලන අඬු යතුරු දෙනවා. ඒ හදන ගමන් තාත්තා එක් එක් කොටසින් සිදුවන හැම දෙයක් ගැනම කියල දෙනවා. මට ලොකු වෙද්දී ඒ ගැන වැඩිදුර ඉගෙන ගන්න තිබුණේ ලොකු ආශාවක්. එහෙම ඉන්න කොට තමයි අපේ පාසලේ උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය හදාරපු අයට ජාතික ආධුනිකත්ව මණ්ඩලය (NAITA) මඟින් ඔටෝ මොබයිල් ඉන්ජිනියරින් පාඨමාලාවක් හඳුන්වා දුන්ෙන්. සාමාන්‍යයෙන් වසර දෙකහමාරකින් නිම කළ යුතු මෙම පාඨමාලාව අපට මාස හයකින් ඉගෙන ගන්න අවස්ථාව සලසා දී තිබුණා.

මේ පාඨමාලා මඟින් MAQ ලෙවල් ෆෝ මට්ටමේ සහතිකයක් ලබා දෙනවා. අම්බලන්තොට පාසලකින් ඉංජිනේරු තාක්ෂණවේදය විෂය හදාරපු අයගෙන් අපි තමයි පළමු කණ්ඩායම විදියට තෝරාගෙන තිබුණේ. ඒක හොඳ අවස්ථාවක් නිසා මම ඒ සඳහා යොමු වුණා.

ඇත්තටම මට ඕන වුණේ මේ ක්ෂේත්‍රයේ ඉහළට ගිහින් රැකියාවක් කරන්න නෙමෙයි. මට මගේ වාහනයක් කැඩුණොත් හදා ගන්න දැනුම ගන්නයි ඕන වුණේ.”

ඇගේ වයසේ පසුවන නව යොවුන් තරුණියන් බොහෝ දෙනා රූපලාවණ්‍යය, ගුරු වෘත්තිය, ලිපිකරු ආදී වෘත්තිය මාර්ග තෝරා ගනිද්දී ඇය තෝරාගන්නේ ඇණ මුරිච්චි, මජං එක්ක ඔට්ටු වෙන ගරාජයකි. මින් ඇය මෙතෙක් පැවති සමාජ මතයට අභියෝග කරන්නීය. “ගැහැනු ළමයෙක් කියලා මේ දේවල් අතහරින්න බැහැ. හැමදෙයක් පිළිබඳවම දැනුම්වත් වෙලා ඉන්න එක පිරිමි ළමයෙක්ට වගේම ගැහැනු ළමයෙක්ටත් වැදගත්. හදිස්සියෙන් තමන් පදව ගෙන යන වාහනය මඟදි කැඩුණොත් ඒක හදාගෙන යන්න පුළුවන් කම කෙල්ලෙක්ටත් තියෙන්න ඕන. එයාලටත් කාගෙවත් උදවු උපකාර නැතිව ඒ දේවල් කරගන්න හැකියාවක් තියෙන්න ඕන. ගෑනු ළමයින්ට මේව හොඳයි; මේව හොඳ නෑ කියල හිතන්න හොඳ නෑ. අපි ශක්තිමත් වුණාම අපට ජීවිතයට මුහුණ දෙන් පහසුයි.

මම පුංචි කාලේ ඉඳලම හිතුවේ අනික් හැම කෙනෙක්ටම කරන්න පුළුවන් දේවල් මටත් කරන්න පුළුවන් කියලා. ඒ මනස හදන්න මට ගොඩක් බල පෑවේ මගේ තාත්තා. එයා කවදාවත් මාව ගෑනු ළමයෙක් කියල කොන් කළේ නැහැ. මං කැමැත්තෙන් එයා වැඩ කරන තැනට දුවගෙන ආවම මාව එතන ඉන්දව ගෙන කියලා දෙනව. ඒ නිසා මට ඒ හැම දෙයක් ගැනම ඉගෙන ගන්න ආසාවක් ඇති වුණා. නමුත් මට කිසිම දෙයක් ගැන ඒතරම් ලොකු අවබෝධයක් තිබුණේ නැහැ.”

පාඨමාලාවේ ප්‍රායෝගික පුහුණුව සඳහා සංජනා ඇතුළු පිරිස යොමු කෙරුණේ අම්බලන්තොට ලංගම බස් ඩිපෝවටය. ඒ අත්දැකීම ගැන ඈ පවසන්නේ මෙවැන්නකි. “ඩිපෝවට ඇවිත් වැඩ කරන්න පටන් ගද්දී මට ඒ ගැන ලොකු දැනුමක් තිබුණෙ නැහැ. ඔටෝ මොබයිල් කිව්වම පෙට්‍රල්; ඩීසල් වාහන එන්ජින් හදන්න; ඉලෙක්ට්‍රික් වැඩ කරන්න; බ්‍රේක් ඇජස් කරන්න; ටයර් මාරු කරන්න මේ හැම දෙයක්ම කරන්න තිබුණා. මාත් එක්ක විස්සක් පුහුණු වුණා. ඒ අතර තව ගෑනු ළමයෙක් ඉන්නවා. අපි මෙච්චර කල් හිතන් හිටියේ ලංගම ඩිපෝව කියන්නේ උදේ හවස දුවන බස් ගාල් කරන තැනක් කියලයි. නමුත් මෙතෙන්ට ආවට පස්සේ ඒ හැම අදහසක්ම වෙනස් වුණා. මෙහි කාර්මික අංශයේ හැමදෙයක් සම්බන්ධයෙන්ම වෘත්තීයවේදීන් ඉන්නවා. ඔවුන් යටතේ තමයි පුහුණු වීම් සිදු කරන්නේ. උදාහරණයකට එන්ජිම සම්බන්ධයෙන් වෙනමම වෘතිතීයවේදියකු යටතේ උගන්වා ප්‍රායෝගික පුහුණුව ලබා දෙනවා. ඒ හැමෝම ගොඩක් හොඳින් අපට මේ දේවල් කියල දෙනවා. අපේ කාර්යය වෙන්න ඕන ඒ දේවල් හොඳින් ඉගෙන ගැනීමයි. කාර්මික අංශයේ අය වගේම ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවය කරන හැමෝම අප ගැන හොයල බලල අපට උදව් කළා.”

“මේක මම දන්නෙ නැති ෆීල්ඩ් එකක් නිසා ගොඩක් කැමැත්තෙන් ඉගෙන ගත්තේ. මෙතන ඔක්කොම වගේ තියෙන්නේ බස් රථ. ඒ කියන්නේ බර වාහන යටතට ගැනෙන ඒවා. මෙතනදි රෝදයක් ගලවල මාරු කරන එකේ ඉඳල ; ඉලෙක්ට්‍රික් වැඩ; එන්ජින් රෙපයාර්; ජියර් බොක්ස් රෙපයාර්; ක්ලච් ප්ලෙට් සවි කිරීම; ප්‍රෙසර් ප්ලේට් සවි කිරීම, බ්‍රේක් ලයිනර් ගහන්න, ස්ටාටර් මෝටර් රෙපයාර්; ඕල්ටර්නේටර් රෙපයාර්, සිග්නල් ලයිට්/බෙල් සිස්ටම්, ටිනකරින් සහ පින්තාරුව, දුනු ගහන්න, ගැස්කට් මාරු කරන්න; සිලින්ඩර් ස්ලීව් (Cylinder Sleeve) ගහන්න; ඔයිල් ෆිල්ටර් මාරු කරන්න වගේ බරපතළ දේවල් පවා කරන්න පුරුදු පුහුණු වුණා. සමහර දෙමවුපියෝ මේ වගේ දේවල් ගෑනු ළමයෙක් කරනවට කැමති නැහැ. ඒත් මගේ අම්මයි තාත්තයි ඉතාම කැමැත්තෙන් මට මේකට ඉඩ දුන්නා; වගේම උදව් කළා. අද මේ දැනුම මට තියෙන නිසා යතුරු ටික අරගෙන පාරට බැස්සෝත් ඕනම වෙලාවක සල්ලි හොයන්න පුළුවන්. නමුත් සල්ලි හෙවීම නෙමෙයි මගේ අරමුණ. මං මේක ඉගෙන ගත්තේ මට ඒ ගැන දැනගන්න තිබුණු ආසාව නිසයි. මගේ වාහනය කැඩුණොත් හදාගෙන යන්න පුළුවන් වෙන්න ඕන කියන අදහස තමයි මූලික අරමුණ වුණේ. ඒකට ගෑනු පිරිමි භේදයක් නැහැ. ගෑනු ළමයෙක් වුණත් ඕනම දෙයක් කරන්න පුළුවන් කියලයි මම හිතන්නේ.” 

ඇත්තටම සංජානා ඉතාම සුන්දර යුවතියකි. ඈ වැනි සුන්දර යුවතියක මේ විදියට ඕවරෝල් එකක් ඇඳ මජං ගාගෙන කාර්මික කටයුතුවලට යොමුව සිටීමම විශේෂය.

ඇය මේ වනවිට මොරටුව සරසවියේ ඉංජිනේරූ පීඨයේ විලාසිතා නිර්මාණයකරණය හා නිපැයුම් ප්‍රවර්ධනය හැදෑරීමට යොමුවී සිටින අතර ඇය එයින් ඉදිරියට යාමට බලාපොරොත්තුව සිටින්නීය. ඒ පිළිබඳව ඇය පවසන්නේ මෙවන් අදහසකි.

“මං කලින් කිව්වා වගේ පොඩි කාලේ ඉඳල මං ආසයි මගේ ඇඳුම් මගේ අතින්ම මහල අඳින්න. ඒ වගේම අලුත් විලාසිතා නිර්මාණය කරන්න; ඒ නිසා තමයි මම මේ විෂය ක්ෂේත්‍රය තෝර ගත්තේ. ඉදිරියේදී මං ඒ අංශයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ නැතත් මට ඕනම දෙයක් කරන්න පුළුවන්. මට අඬු යතුරු අරන් පාරට බැස්සත් සල්ලි හොයන්න පුළුවන්. ඒ නිසා මං මේක බලන සහෝදරියන්ට කියන්නේ ගෑනු ළමයි කියල එක සීමාවකට කොටු නොවී හැමදේම ඉගෙන ගෙන ඉස්සරට යන්න. කාටවත් ඇඟිල්ල දික්කරන්න බැරි වෙන්න ඕනම දෙයක් පුළුවන් කෙල්ලෙක් විදියට එළියට බහින්න. ඕනම කෙනෙක්ට හිතේ ශක්තිය අධිෂ්ඨානය තියෙනව නම් ඒ දේ කරන්න පුළුවන්’”

මෙහිදී ඇය ඉංජිනේරු තාක්ෂණවේදය ඉගැන් වූ ලසිත් රසාංග සමරතුංග සහ හර්ෂ රණවීර ගුරුවරුන් දෙපළ මෙන්ම අම්බලන්තොට ලංගම ඩිපෝ කළමනාකාරතුමා සහ ජාතික අධුනිකත්ව ආයතනයේ සහකාර අධ්‍යක්ෂකතුමා ඇතුළු ඇයට ගුරුහරුකම් ලබා දුන් සෑම කෙනෙකුටම සිය ස්තූතිය පුද කළාය.