නූතන සමාජයේ අය ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳ දක්වන සැලකිල්ල මද වුවද පුරාණයේදී සියලුම සුබ කටයුතු යම්කිසි සුබ වේලාවකටම සිදු කළ බව පැරණි පොතපතින් පෙනේ. ගමන් යාමේදී සුබ නැකත් සහ සුබ නිමිති බලා පිටත්වූ බව අපට සංදේශ සාහිත්‍යයෙන් දැකගත හැක.
ශ්‍රී රාහුල හිමියන් සිය සංදේශ කාව්‍ය ගෙන යන සැළලිහිණියට පිටත්වීමට කියා ඇත්තේ අස්විද නැකතෙන්. ඒ බව සඳේ මුදුන් පත අස්විද නැකත සිට යෙදේ ගමන් යහළුව මෙපුරෙන් තොපට යන්නෙන් පැහැදිලි වෙයි. එසේම පෙරමග නිමිති බැලීමද එකල සිරිතක්ව පැවතුණි.
නල මුසු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි
පුල හෙළ කුසුම ලිය පිය තෙපල රං කෙඩී
සල සුදු සෙමර සේසත් ගිජිදු නොද වැඩි
බල සුබ නිමිති පෙර මග නැකතටත් වැඩි
ජ්‍යොතිෂ පොත්වල ගමනක් යාමේදී පමණක් නොව ගමන් යන දිනයකදී අනුගමනය කළයුතු පිළිවෙත්ද විස්තර කොට ඇත. මෙවුන්දම් සේවනය තෙල් ඇඟ ගෑමද මත්පැන් බීමද ශෝකයද ක්‍රෝධයද රතු කළු වස්ත්‍ර හැඳීමද මස් දී කිරි සහ කටුක ආහාර ගැනීමද සකුරු මද ආදී ආහාරද අත්හළ යුතු බව සඳහන් වේ.
එසේම තම බිරිඳගේ ඔසප් දිනයද තමාට වමනය වූ දිනද මව්පියන් මැරුණ දිනද තමා උපන් මාසයද බිරිඳගේ ගැබට නව මස් වූ විටද ගමන් නොයා යුතුය. තවද ග්‍රහ ඉගිළුව ඇතිවිට හෝ ග්‍රහ යුධ ඇතිවිට හෝ ග්‍රහයන් අස්ත වක්‍රවූ අවස්ථාවලදීද ග්‍රහණ ඇතිවිටද ධූම කේතු වල්ගා තරු පෑවූ විටද තද වැසි සුළං ආදිය ඇති දිනවලද සැන්දෑ වෙලාවේද තම බිරිඳ සමග කලහවී හෝ බඩගින්නේ හෝ ගමන් නොයා යුතුය. ගමනක් යාමේදී පෙර නිමිති තුනක් ගැන සැලකිලිමත් වේ. පළමු නිමිත්ත දෙවන නිමිත්ත තෙවන නිමිත්ත වශයෙනි. පළමු නිමිත්ත අසුබ වුවහොත් තුන්වන නිමිත්ත ගැන සැලකිලිමත් වෙයි.
මුල් පෙර නිමිති සම්පූර්ණයෙන් අසාර්ථකවී නම් ගමනද අසාර්ථක වන බව පැවසේ.
පෙර නිමිති සුබ පෙර නිමිති අශුභ පෙර නිමිති වශයෙන් දක්වයි. පෙර නිමිති කොටස් කීපයකට වර්ග කර ඇත. ඒ අතර පුද්ගලයන්ගෙන් ඇතිවන පෙර නිමිති තිරිසන් සතුන් මුල්කරගෙන ඇතිවන පෙර නිමිති විවිධ ශබ්ද මුල්කරගෙන ඇතිවන පෙර නිමිති ආදියයි.
පුද්ගලයන් සම්බන්ධ පෙර නිමිති අතර අවි ආයුධ රැගෙන එන පුරුෂයන් සහ ස්ත්‍රීන් යාචකයන් වඳ ස්ත්‍රීන් හිස මුඩුකළ මහණුන් සහ බමුණන් පපුවේ රෝම නැති පිරිමින් කෙස් කඩා දමා යන ස්ත්‍රීන් ආබාධිතයන් දරමිටි හිස තබාගත් ස්ත්‍රීන් හිස් භාජන හිස් කළගෙඩි රැගෙන යන කාන්තාවන් වැන්දඹු කාන්තාවන් උමතු හෝ රෝගී ස්ත්‍රීන් හෝ පුරුෂයන් ආරක්ෂක නිලධාරීන් මළගෙදරක යන අය කට දෙකොන කෙළ ඇත්තවුන් නීතිවිරෝධී වැඩවල යෙදෙන්නන් ආදිය අසුභ නිමිතිවේ.
මෙවැනි නිමිත්තක් දුටුවිට ගමන නවත්වා ආපසු නිවසට පැමිණ වතුර පානය කර නැවත ගමන ආරම්භ කිරීම සිරිතකි.
පුද්ගලයන් සම්බන්ධ සුභ නිමිති වන්නේ රූමත් කාන්තාවන් ප්‍රිය වදන් තෙපලන්නන් ඉදුනු පලතුරු රැගෙන එන පුරුෂයන් හෝ ස්ත්‍රීන් අනාචාරයේ හැසිරෙන ස්ත්‍රීන් මඟුල් ඇඳුමින් සැරසුන අය කිරිදෙන මව්වරුන් ප්‍රභූවරුන් උසස් කුලවන්තයින් ජ්‍යෝතිෂ්‍යවේදීන් පොත් පත්තර ලියුම් බෙදන අය පොල්මල් පුවක් මල් අතින් ගත් අය සතුටින් සිනහවෙන් සිටින අය, කිරි රැගෙන එන අය මල් වට්ටියක් අතින් ගත් අය වතුර පිරි කළයක් හෝ භාජනයක් රැගෙන එන අය ආහාරපාන රැගෙන එන අය සුබ නිමිති ලෙස දැක්වේ.
තවද ගැරඬියන් නයි වැනි සර්පයන් පාර හරහා මාරුවීම කළු බල්ලෙක් ඉදිරියෙන් දිවීම කබරයන් බල්ලන් ගැරඬින් පොරකෑම බළලුන් පොර කෑම සතුන් සංසර්ගයේ යෙදීම බොහෝ අසුබ පෙර නිමිති වෙයි.
ගමනක් ආරම්භ කරන ෙමාහොතේදී වසුපැටවුන් එළදෙනුන් හිතවත් සුනඛයින් අශ්වයන්, පෝනියන්, සුදුපාට කුකුළන් මුගටින් එළුවන් ආදී සතුන් ආදී සතුන් ඉදිරියට ඒම සුබ නිමිතිවෙයි.
මළ සිරුරු රැගෙන එන මිනිසුන් සෙම් සොටු අසූචි කැඩුනු වාහන කළු රතු නිල් රෙදි සහ තිර පෙර මග ඇතිව අශුභයි.
ගමනක් ආරම්භ කිරීමේදී මළ බෙර හඬ බල්ලන්ගේ උඩුබුරලෑම බල්ලන් කන්පට ගැසීම කිවිසුම් යාම කෑරලා කෑ ගැසීම නරියන් හූ කීම හූනන් හැඬීම පොල්කිච්චන් කෑගැසීම කලහකාරී ශබ්ද විලාප හඬ ආදිය අශුභ හඬ වෙයි.
ගමනක් යාමට සැරසෙන විට කුකුළෙක් හැඬීම ලේනුන් කෑගැසීම කුඩා දරුවකු සුරතල් වචන කථා කිරීම සාදු නාද ආදිය ඇසීම ගමන සාර්ථක වීමට හේතුවෙයි.
ජ්‍යොතිර්වේදී වාස්තු උපදේශක
යාන්ත්‍රික ඉංජිනේරු
නිශාන්ත විජේසේන
ලංකාදීප ඇසුරිණි