ශ්‍රී ලංකාවේ තීරුබදු ප්‍රතිපත්ති සහ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම්වල ප්‍රගතිය පිළිබඳව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම රැස්වීමේදී වෙළෙඳ ගිවිසුම්වල වත්මන් තත්ත්වය සහ එම සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු විය.
වාණිජ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් සෝමසේන මහදිවුල්වැව මහතා විසින් මෙරට වෙළෙඳ ප්‍රතිපත්ති සහ ගිවිසුම් පිළිබඳව කාරක සභාව දැනුවත් කරන ලදී.
දැනට සාකච්ඡා මට්ටමේ පවතින වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයන් සිදු කිරීමේ අවශ්‍යතාව සහ එම සාකච්ඡාවල ප්‍රගතිය තහවුරු කිරීමට පියවර ගැනීමේ වැදගත්කම කාරක සභාව විසින් මෙහිදී අවධාරණය කෙරිණි.
නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ එරංග වීරරත්න යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ.
